Thursday, August 20, 2026

අවාසනාවන්ත සිංහල සංගීත රසිකයෙකුගේ අදෝනාවක්


පුංචි කාලේ ඉඳන්, පුංචියට සංගීතය ඉගෙනගත්ත ලංකාවේ ළමයෙක්ට, අමරදේව මාස්ටර් කියන්නේ නිකන් අහස වගේ අස්පර්ශනීය කෙනෙක් කියල තමයි හිතුනේ. සංගීත වැඩ ජගන් මෝහිනී අහල පටන් ගත්තම පොඩි කාලේ ඉඳන් ඇහුන සුභාවිත ගීත කියල තිබ්බ ලිස්ට් එකේ ගොඩක් තිබ්බේ මාස්ටර්ගෙ සින්දු. 10 වසරේ වගේ නුවර තිබ්බ මහගමසේකර සාහිත්‍ය උත්සවයක්. ජීවිතේ පස්සේ කාලෙක මෙලෝ රහක් නැති රස්සාවක් කලාට, ඒ දවස්වල පොඩි කලාත්මක touch එකක් ලාවට තිබ්බ නිසා, සේකර ගැනපොඩ්ඩක් බලද්දී, සේකර - අමරදේව සුසංයෝගයෙන් හැදුන ගොඩක් දේවල් දැනගත්තා . එදා දිනපු අයට තෑගි දුන්නෙත් සේකරගේ පොත් නිසා, ගොඩක් දේවල් උත්සවෙන් පස්සෙත් කියවගත්ත. ඔය කොහොම උනත්, අමරදේව මාස්ටර් මැග්සේසේ සම්මාන ගද්දි TV එකෙන් ඒවා බල බල ඉඳපු මට, අමරදේව මාස්ටර් හැමදාමත් අස්පර්ශනීය පුද්ගලයෙක් වගේ. ඒ නිසා එතුමා සින්දු කියනවා අහන්න යන්න මම සුදුසු නෑ වගේ හැගීමක් තමා කොහොමත් තිබ්බේ. එළිමහන් ප්‍රසංග හැර , ටිකට් අරන් ගෘහස්ත ප්‍රසංග වලට යන්න පුළුවන් කාලේ වෙද්දී අමරදේව මාස්ටර් ගොඩක් වයසයි . කොහොම උනත් , බ්ලොම් එකේ final exam එකට  පාඩම් කරන දවස්වල අමරදේව සර් නැති උනා. එදා මොකක්ද කියන්න බැරි මහා අමුතු මුසල හැගීමක් තිබ්බා. හිතා ගන්න බැරි පසු තැවීමක් තිබ්බා. මාස්ටර්ගේ සින්දු එකින් එක fb එකේ එද්දී, ඒ දැනුණු මුසල ගතිය තව තව වැඩි උන. ඒ ඔක්කොම අස්සේ , "මළ හිරු බසිනා සැන්දෑ යාමේ ඔබගෙන් බැස යන්නම් " නිතරම ඇහෙන්න ගද්දි , ඇස් වල කඳුළු හිතාගන්න බැරි විදිහට වැටෙන්න ගත්තා. හොස්ටල් එකේ ඉන්නම බෑ වගේ නිසා junior batch එකේ සචිත් එක්ක , නිදහස් චතුරශ්‍රයට ගිහින් මාස්ටර්ට අවසන් ගෞරව දැක්වුවා. එදා තම මම ඒ අස්පර්ශනීය මාස්ටර් ව , මුල් වතාවට දැක්කේ. මාස්ටර්ගේ මළගෙදර දවස්වල, ඒ සින්දු ලිස්ට් අහද්දී තමා මට හරියටම තේරුම් ගියේ , ඒ සිංදු මම නොදැනුවත්වම මගේ ජීවිතේට කොච්චර බැඳිලා තියෙනවද කියලා . අදටත් නිදහස් චතුරශ්රේට නිකන් ගියොත් මට මැවෙන්නේ, මාස්ටර්ගේ චිතකය දැල්වෙන වෙලාවට පසුබිමෙන් මළහිරු බසිනා සින්දුව ඇහුන දර්ශන. මාස්ටර් මැරෙනකන් ඒ කටහඬ live අහන්න බැරි උන එක ගැන මම ගොඩක් පසු තැවෙනවා.


ඒ සිද්දි වලින් පස්සේ , මට තිබ්බ ලොකුම ආශාවක් තමා නන්දා මාලිනියගේ සිංදුවක් live අහන එක . මොකද , මාස්ටර් නැතිවෙලා ඒ සිංදු කොච්චර අපේ ජීවිතේ එක්ක බැඳිලද කියල බලද්දී , මට තේරුන ඊළඟ දේ තමා නන්දා මිස්ගේ කටහඬ කොච්චර මතක ගේනවද කියන එක. "අ යන්න කියන්න " කියද්දී මතක් වෙන්නේ පුංචිම කාලේ . "ජීවිතේ කවියක් " කියද්දී මතක් වෙන්නේ පොඩි කාලේ ගජමන් නෝනා බලපු විදිහ . "අරලිය ලන්දට " කැසට් එක මම මුලින්ම ඇහුවේ ශාන්ත මාමගේ අනුරාධපුරේ quarters එකක නිවාඩුවකට ඉංග්‍රීසි  ඉගෙන ගන්න ගියපු කාලෙක . "සැන්දෑ කරුවල " කියන්නේ ඉස්කෝලේ කලා උළෙලේ ගායන තරඟෙට කියපු සිංදුව.  කැම්පස් එකේ SAITM උද්ඝෝෂණ වෙලාවට faculty එකේ ඇහුනේ "පවන" ඇල්බම් එක . "යමින් බැඳ විලංගු ලා " වගේ සින්දු කොහොම හැදුනද කියල හිතාගන්නවත් බෑ. ඒ බර කටහඬ සාර්වකාලිකයි වගේ . කොච්චර කල් ගියත් තාමත් ඒ වගේ album එකක් ළඟට වත් ආව නිර්මාණ නෑ . "සුළං කපොල්ලේ " කියන්නේ මම ජීවිතේ වැඩි පුරම අහපු සින්දුවක්. ඒක හරිම අමුතුයි. ඒක නන්ද මිස්ගේ හඬින් ඇහෙද්දී දැනෙන හැගීම කියන්න තේරෙන් නැති හැගීමක්.  "හදවත නැති මිනිසා ඔබ - නෙතු කඳුලැලි ගෙනාව " නන්ද මිස් ගයද්දී , මුළු සර්වන්ගේම හෙලවෙලා යනවා. ඔය ඔක්කොම සිංදු අස්සේ අවුරුදු කීපයකට කලින් youtube එකේ නන්දා මාලිනිය ඇයගේ ජීවිත කතාව කියනවා මම ඇහුවා . බින්දුවෙන් පටන්ගෙන , ගුරුවරුන්ගේ ආශීර්වාදයෙන් අවස්ථා ලබාගෙන , යහපත් යාළුවන් එක්ක නිර්මාණ කරමින් , ජීවිතේ පවා කැපකරලා තමන් විශ්වාස කරන මතයකට පෙනී ඉඳිමින් නිර්මාණ කරපු හැටි නන්දා මාලිනිය හරි රහට විස්තර කරනවා . ඕව ඔක්කොම අස්සේ විශාරද නන්දා මාලිනියගේ හඬ සජීවීව අහන්න මට ලොකු වුවමනාවක් තිබ්බා . අපි WAYO concert කරපු දවස් වල යසස් එක්ක නන්දා මිස් ගේ නොම්මරේ හොයාගෙන , ඇයට උපහාරයකට එන්න ආරාධනා කලත්, ඒ දවස්වල එතුමිය අසනීප තත්වයෙන් ඉඳපු නිසා ඒ ආරාධනාව ප්‍රතික්ෂේප කලා . 2025, ඇයට ගුවන් විදුලියන් උපහාර දක්වද්දී ඇය "බුදු සාදු .... බුදු සා ......දු ... " කියලා වයස 82දි ගයද්දී , දැනුනන හැංගීම ඇත්තටම කියන්න වචන නැහැ. ඒ එතුමියගේ පලවෙනි ගීතය . වයස 82 දී , එතුමිය ඇයගේ පලවෙනි ගීතය ගයද්දී තිබ්බ ගැඹුර , හැංගීම - ලංකාවේ වෙනත් කිසිම  හඬ කට නැති තරම් . කොහොම උනත් , අද ආචාර්ය නන්දා මාලිනිය අවසන් ගමන් ගිහින් . 2016 මාස්ටර් ගේ මරණය දැනගත්ත දවසට දැනුනට  වඩා ලොකු කම්පාවක් අද දැනෙනවා. මාස්ටර් වගේම , නන්ද මිස්වත් මට මුලින්ම හම්බෙන්නේ අවසන් ගෞරව දක්වන්න ගියාම . සිංහල සංගීත රසිකයෙක් විදිහට , අමරදේව මාස්ටර්ගේ  සහ විශාරද නන්දා මාලිනියගේ මධුර ගායනයන් සජීවීව රසවිඳීමට නොහැකි වීම මගේ ජීවිතේ සදාකාලික පසුතැවීමක්  ලෙස ජීවිතේ පුරාවට මා සමඟ රැදීතිබෙනු ඇත .. ඒ දුක සහ පසුතැවීමත් ඔවුන්ගේ මධුර හඬින් ගැයුණු ගීයෙන්ම සන්සින්දෙනු ඇත 

No comments:

Post a Comment